ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩහැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන...
ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩහැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනාට ඇප ලබාදීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.
ඒ අනුව එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක බැගින් මුදල් ඇපයක් ද, රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හත් දෙනෙකු අද(30)අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකරුවෙකු ලෙස නම සඳහන්වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේය.
කිසියම් සැකකරුවෙකුට විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසර මත ඒ සඳහා හැකියාව පවතින බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 03 වන දිනට කල් තැබුවේය.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් පෞද්ගලික සමාගමට නීති විරෝධී ලෙස අවසර ලබාදීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය අගෝස්තු මස 30 වැනිදා මෙම නඩුව ගොනුකර තිබුණි.
ඒ අනුව අදාළ නඩුව පසුගිය පළමු වැනිදා විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට නොතීසි නිකුත් කර තිබුණි.
COMMENTS