කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට සැකපිට පළමුව අත්අඩංගුවටගත් පාසල් සිසුවාට හිරිහැර කළ බවට ඉදිරිපත් කර ඇති ඡා...
කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට සැකපිට පළමුව අත්අඩංගුවටගත් පාසල් සිසුවාට හිරිහැර කළ බවට ඉදිරිපත් කර ඇති ඡායාරූපවල සිටින පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන් පිළිබඳ තොරතුරු මාස 02ක් ඇතුළතදී අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) පොලිස්පතිවරයාට නියෝග කළේය.
එ්, ඊයේ අදාළ සිසුවා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
බඩල්ගමුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එස්. ප්‍රදීප් සෙනෙවිරත්න නමැති මෙම පාසල් සිසුවා අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් අදාළ පෙත්සම ගොනු කර තිබිණි.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර මහතා, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. යු. ලසන්ත රත්නායක මහතා, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබේ.
පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස 15වනදා රාත්‍රියේ කොටදෙණියාව ප්‍රදේශයේ විසූ 05 හැවිරිදි දැරියක් තම නිවසේ සිටියදී පැහැරගෙන දූෂණය කර මරා දමා ඇති බව අදාළ පෙත්සමෙහි සඳහන් විය.
ඉන්පසු දින සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු තමා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් දැරිය මරා දැමීමට සම්බන්ධ බවට වරද පිළිගන්නා ලෙස තර්ජනය කරමින් හෝස් බටයකින් පහරදුන් බවත් එසේ නොකළ හොත් එල්ලා මරාදමන බවට තර්ජනය කළ බවත් පෙත්සම්කරු කියයි.
පසුව කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් පසුව ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා අධිකරණය විසින් තමා මුදා හළ බව ද එම පෙත්සමෙහි තවදුරටත් සඳහන් වෙයි.
ඒ අනුව එලෙස අත්අඩංගුවට ගැනීමේ, පහරදීමේ, රඳවා ගැනීමේ සිද්ධිය මඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
ඊයේ අදාළ කරුණු සලකා බැලූ අධිකරණය දෙසැම්බර් මස 08 වැනිදාට පෙත්සම නැවත කැඳවීමට නියෝග කළේය.
COMMENTS