" ඒ වුණාට මගේ පපුව හොඳයි! " ෂෙහාන් කරුණාතිලක ගේ සුප්‍රසිද්ධ 'චයිනමන්' නවකතාව ආරම්භ වෙන්නෙ ඔන්න ඔය දෙබසින්. 'ඇල්කොහ...
" ඒ වුණාට මගේ පපුව හොඳයි! "
ෂෙහාන් කරුණාතිලක ගේ සුප්‍රසිද්ධ 'චයිනමන්' නවකතාව ආරම්භ වෙන්නෙ ඔන්න ඔය දෙබසින්. 'ඇල්කොහොල්' මාධ්‍යවේදී ඩබ්ලිව්. ජී. කරුණාසේනට නවසිරි ඉස්පිරිතාලෙ තරුණ දොස්තරවරයාගෙන් අවසාන 'නිල' නිවේදනය ලැබෙනවා. මරණ වරෙන්තුව අතේ තියා ගෙන කරුණාසේන දොස්තරගෙන් අහන්නෙ එක ප්‍රශ්නය යි.
" තව කොච්චර කල් තියෙනවද? "
දොස්තර දීපු උත්තර මෙතැනට අදාළ නැහැ. හැබැයි අපිට කරුණාසේන ගෙ ප්‍රශ්නෙ මග ඇරල යන්න පුලුවන්ද? කවුරු, කොහොම, කොයි වෙලාවෙ, කොතැනට යයිද කියල කාටද කියන්න පුළුවන්! මේ ලියන මට, නැත්නම් කියවන ඔබට..?
ඉස්සර මහගම සේකර ගම්පහ ඉඳන් රාජකාරී කටයුතුවලට කොළඹ ඇවිත් තියන්නෙ කෝච්චියෙ. දිනපතා උදේ හවස යන එන මේ ගමන් බිමන්වලදී ඒ කාලෙ හිටපු, ඒ කෝච්චියෙම ආ ගිය තරුණ මාධ්‍යවේදියෙක් සේකර එක්ක ටිකක් හිතවත් වෙලා තියෙනවා. හැමදාම උදේ සේකර එක්ක කතා බහ කරද්දී ඔහුට දැනෙනවා සේකර ළගින් හමා එන, කලින් දවසෙ මදු සාදවලින් ශේෂ වුණ සුපුරුදු සුවඳ! ටික දවසක් මේක නිරීක්ෂණය කරපු තරුණ මාධ්‍යවේදියා නිගමනයකට එන්න හිතාගෙන එක දවසක සේකරගෙන් මෙන්න මෙහෙම අහල තියෙනවා.
"සේකර මහත්තයා ඇයි ඔච්චර බොන්නෙ? "
කට කොණකින් හිනා වුණු සේකර ඔහුට කිව්වෙ මෙච්චර යි.
"තමුසෙ තාම පොඩි කොල්ලෙක්. ලොකු වුණාම තේරෙයි ඒ ඇයි කියල! "
එහෙම කියපු සේකරටත් අවුරුදු හතළිස් හයෙන් යන්න වුණා. මහගම සේකර ගෙ ඉඳන් ඉන්දික ගුණවර්ධන දක්වා එහෙම වේලාසනින් ම නික්ම ගිය හදවත් ගැන අපිට කතා කරන්න මොන තරම් නම් දේවල් තියෙනවද? එතකොට ජීවත් වෙලා ඉන්න උන් ගැන..! මැරෙනකම් ඉන්න ඕනෙ නැහැ. ඔව්, අපි කතා කරමු.
මේ තීරුවේ නම 'විත අස පත' ! සමහරුන්ට අනූව විතක් නැතුව පතක කිසි දෙයක් ලියන්න බැහැ. තවත් සමහරු කියන්නෙ එහෙම නම් ඒක මානසික රෝගයක් වෙන්න ඇති කියල. ඔය අතරෙ විතයි පතයි දෙකම සමබර කරගෙන මැද මාවතේ ඇවිදගෙන යන කට්ටියත් ඉන්නවා. ඒ හැම දෙයක් ම අස්සෙ මොන තරම් කතන්දර හැංගිලා තියෙනවද? අපේ කතාව ඒ 'හැම' දෙයක් ගැන ම තමයි. 'සෙස්ස පස්සට' නොතියා හොඳ හුස්මක් අරගෙන වැඩේ පටන් ගමු.
ඔන්න එහෙනම් මං 'ගත්තා' ! චියර්ස්...!!!
- කසුන් සමරතුංග -
COMMENTS