වැඩ බිම් තුළ සේවක අයිතිවාසිකම් ඉතා ප්‍රබලය. බොහෝ විට එම අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කිරීමට සිදුවීම අනිවාර්ය දෙයක් බවට පත්ව තිබේ. එහි ප...
වැඩ බිම් තුළ සේවක අයිතිවාසිකම් ඉතා ප්‍රබලය. බොහෝ විට එම අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කිරීමට සිදුවීම අනිවාර්ය දෙයක් බවට පත්ව තිබේ. එහි පරම වගකීම වෘත්තීය සමිති හා බැඳී පවතී. එහි විවාදයක් නැත. ඒ නිසාවෙන්ම සිය වැඩබිමේ සේවකයන් ආරක්ෂා කර ගැනීම මෙන්ම වැඩ බිම ආරක්ෂා කර ගැනීමේ වගකීමද එකී වෘත්තීය සමිති වෙත වෙයි. සෑම කාලයකදීම විවිධ කාරණා පදනම් කරගනිමින් ඔවුහු අරගල කරති. එහි අඩුවක් නොමැත. අරගල ජයග්‍රහණය කිරීම මෙන්ම පරාජය වීම්ද එහි වෙයි. මේ සටහන ද මේ දින වල සීතල යුද්ධයක් බවට පත්ව ඇති වෘත්තීය සමිති මෙහෙයුමක් පිළිබඳවය. කතා නායකයා මහජන බැංකුවයි. එහි ප්‍රධානම වෘත්තීය සමිතිය ලංකා බැංකු සේවක සංගමයයි. ඒ තුළ මහජන බැංකු ශාඛා සංගමය වෙයි.
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා හා මහජන බැංකු ශාඛා සංගමයේ සභාපතිවරයා වන රන්ජන් සේනානායක ඇතුළු කණ්ඩායමක් විසින් මේ වන විට මහජන බැංකුවට මුහුණ දීමට වන අනතුරුදායක තත්ත්වයක් පිළිබඳව අනතුරු අඟවමින් හිදිති. ඒ මහජන බැංකුව පෞද්ගලිකරණය කිරීමේ සැලැස්මක් ඇති බවට වන කතාන්දරයයි. ඊට මහජන බැංකුව පමණක් නොව ලංකා බැංකුවද ඈදා තිබේ. අපගේ කතා නායකයා මහජන බැංකුව වන හෙයින් මොහොතකට අපි ලංකා බැංකුව පසෙකින් තබමු. එම වෘත්තීය සමිති නායකයන් පවසන පරිදි මේ වන විටත් බැංකුව පෞද්ගලිකරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස වත්කම් වලින් 10% ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ අලෙවි කිරීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටියි. ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින බවද ඔවුන් සඳහන් කරයි. මේ වන විටත් ලංකා බැංකු සේවක සංගමය විසින් ඒ පිළිබඳව කරුණු කියමින් අත්පත්‍රිකා බෙදීම පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම ඇතුළු කාර්යයන්හි නිරතව සිටියි. මෙම තත්ත්වය පිළිබඳව කරුණු විමර්ශනයේදී අපට තවත් කාරණා අනාවරණ විය. සැබෑ ලෙසම ලංකා බැංකු සේවක සංගමයටත් මහජන බැංකු ශාඛා සංගමයටත් අවශ්‍යව ඇත්තේ රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගැනීමද නැත්නම් සිය පෞද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කිරීමට ද යන පැනය එහිදී මතු විය.
දැනගන්නට ලැබුණු පරිදි මහජන බැංකුවේ වෘත්තීය සමිති අරගලය සීතල යුද්ධයක් බවට පත්ව ඇත්තේ සේවක අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවට ලොකු පුටු සමඟ ඇති එදිරිවාදිකම් පිරිමසාගැනීමට දරන උත්සහයක් ලෙසය. ඒ නිසාවෙන්ම මින් ඉදිරියට "අරගලය" යන යෙදුම වෙනුවට "සටන" ලෙස දැක්වීමට තීරණය කළෙමු.
ලංකා බැංකු සේවක සංගමයේ ඉතිහාසය වසර 75කට එපිටය. රාජ්‍ය බැංකු 8ක සහ පෞද්ගලික බැංකු 12ක සාමාජිකත්වය හිමි එම වෘත්තීය සමිතිය මේ වන විට බැංකු සේවකයන් 35000කට වගකීමට බැඳී සිටියි. මහජන බැංකුව,ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි ප්‍රබලම සාමාජිකයන්ය. අද එම බැංකු වලට එරෙහි වී සිටින්නේ එම බැංකුකරුවන්මය. ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රමුඛ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ සිය සාමාජිකයන් මර්දනය කිරීමට මහජන බැංකු පාලනාධිකාරිය උත්සහ දරන බවයි. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ට විවිධ චෝදනා නගමින් ඔවුන්ට දඩුවම් දීමේ පිළිවෙතකට බැංකු පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවට ඔවුන් චෝදනා නගයි. ඒ අනුව මේ වන විට සේවක වරප්‍රසාද රැසක් අහිමි වී ඇති බව ඔවුන් කියා සිටියි. සැබෑවකි. මහජන බැංකුව විසින් සිය සේවකයන්ට ලබා දී තිබූ වරප්‍රසාද රැසක් මේ වන විට අහිමි කර තිබේ.
එහි අතීත කතාව මෙබන්දකි.
පසුගිය ජුලි මස 14 දින ලංකා බැංකු සේවක සංගමයේ නිලවරණය පැවැත්විණි. එම නිලවරණයෙන් එතෙක් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා හා මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති වූ වන සහකාර සාමාන්‍යාධිකාරි ඒ.කේ.බණ්ඩාර මහතා පරාජයට පත්විය. නිලවරණයෙන් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වන්නේ රන්ජන් සේනානායක මහතාය. ඔහුද මහජන බැංකුවේ කළමණාකාරවරයෙකි. මහජන බැංකුවේ අලකලංචි ආරම්භ වන්නේ එතැන් පටන්ය. එතෙක් වෘත්තීය සමිතිය විසින් දිනා දුන් සේවක වරප්‍රසාද දැන් අහිමි වන තැනටම වැඩ සිදු වී හමාරය. සාමාන්‍යයෙන් වරප්‍රසාද නීතියට යටත් නැත. ඒවා තීරණය වන්නේ ආයතනයක එකිනෙකා තුළ පවත්නා සුහදතාවත් දිනෙන් දින ලබන දියුණුවත් සමඟය. එහෙයින් වරප්‍රසාද ලබා දෙනවා මෙන්ම එය අත්හිටුවිමටද පාලනධිකාරියකට හැකියාව තිබේ. එම තීන්දුව වෛරී සහගතව අයිතිවාසිකම උදුරා දමමින් සිදු කරන්නක්නම් එහි ප්‍රශ්නයක් වෙයි. නමුත් එය සේවකයන් විසින්ම ඉල්ලාගෙන කෑමක්ද විය හැකිය. අද මහජන බැංකුවේ වරප්‍රසාද අහිමි වීමද වෘත්තීය සමිතිය විසින් ඉල්ලාගෙන කෑමක ප්‍රතිපලයකි.
දිගින් දිගටම බැංකුවේ කීර්තිනාමයට හානි වන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හැසිරීම ඊට හේතුව වී තිබේ. බැංකුව අපහසුතාවට පත්වන අන්දමට පෝස්ටර් ප්‍රදර්ශනය, ප්‍රධාන නගර වල අසත්‍ය ප්‍රචාර කරමින් අත්පත්‍රිකා බෙදා හැරීම, සෙසු බැංකු වල ( විශේෂයෙන් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව HDFC බැංකුව ආදියේ ) වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සමඟ එක්ව මහජන බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම, බැංකුව මහජන මුදල් අවභාවිතා කරන බවට කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව චෝදනා කිරීම, මහජන බැංකුව පෞද්ගලිකරණය කිරීමට සැරසෙන බවට අසත්‍ය ප්‍රචාර සිදු කිරීම ආදී කැරුණු මුල් කර ගනිමින් දිගින් දිගටම බැංකුව අපහසුතාවට පත්වන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හැසිරීම නිසා බැංකුවේ පාලනාධිකාරිය එතෙක් සේවකයන්ට ලබා දුන් වරප්‍රසාද අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව වැටුප් සහිතව වෘත්තීය සමිති නියෝජිතයන් 8 දෙනෙකු නිදහස් කර තිබූ අතර දැන් එය දෙදෙනෙකු දක්වා අඩු කර ඇත. එමෙන්ම මාරුවීම් මණ්ඩල හා අභියාචනා මණ්ඩල ද පසුගිය අගෝස්තුවේ සිට අහෝසි කර තිබේ. මෙලෙස සමස්තයේ වරප්‍රසාද අහිමි වන්නේ සුළුතරයකගේ ක්‍රියාකලාපය හේතුවෙනි.
අනෙක් බරපතලම කාරණය වන්නේ රාජ්‍ය බැංකු පෞද්ගලිකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවට එල්ල කෙරෙන චෝදනාවයි. මෙම කාරණයට අදාලව 1961 මහජන බැංකුවේ පනත සංශෝධනය කිරීමේ උත්සාහයක නිරත වන බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි. පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතුව ඇත්තේ රුපියල් බිලියනක් ලෙස පවතින බැංකුවේ නාමික ප්‍රාග්ධනය බිලියන 50 දක්වා වැඩිකිරීම සඳහාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම ජාත්‍යන්තර බැංකු නියාමනයක් වන අනුකුලතාවයනට ගැලපෙන ආකාරයෙන් ප්‍රාග්ධනය වැඩිකර ගැනීම සඳහා නීතිමය රාමුව සැකස ගැනීමටය. එමෙන්ම ප්‍රාග්ධනය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව ඇති අනෙක් කාරණය වන්නේ ණයකර නිකුත් කිරීමකදී ඊට අදාලව දැනටමත් බාධකයක්ව පවත්නා භාණ්ඩාගාර ඇපකර ලබා ගැනීමේ අවශ්‍යතාව මඟහරවා ගැනීම සඳහාය. ඒ හැර මහජන බංකුවේ පුර්ණ අයිතිය පවතින්නේ රජයටය. අයිතිය වෙනස් වීමට නම් පනතේ 13 වැනි වගන්තිය සංශෝධනය විය යුතුය. එහෙත් එවැන්නක් පිළිබඳ කිසිත් වාර්තා නොවෙයි. ලංකා බැංකුවද කොටස් වෙළෙඳපොළේ ලේඛනගතව ඇත්තේ බාසල් නියමයට ගැළපෙන අකාරයෙන් ප්‍රාග්ධනය ඉහළ දමා ගැනීමේ අරමුණින් සිදු කළ ණයකර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් බව සඳහන්. එහි කිසිලෙසකින්වත් පෞද්ගලිකරණය කිරීමේ සැලැස්මක් නොමැති බවයි තතු දන්නෝ අනාවරණ කරන්නේ.
මේ අතර මහජන බැංකුවේ කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගැනීම සිදුවන්නේ දේශපාලන හිතවත්කම් මත බවට ද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කරයි. මෙම චෝදනාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බැංකු පරිපාලනය අවධාරණය කරන්නේ අදාළ විභාගය සමත් 600 දෙනෙකුගෙන් පිළිවෙලට 200 දෙනෙකු බඳවා ගන්නා බවයි. එම නියමිත පටිපාටියෙන් බැහැරව බඳවා ගැනීමක් කර ඇත්නම් එය අනාවරණ කරන ලෙස බැංකු පරිපාලනය වෘත්තීය සමිති නායකයාට අභියෝග කරයි. මෙකී සියලුම කාරණා මැද මහජන බැංකුව ඩිජිටල්කරණයේ පෙරළියක්ද ආරම්භ කර තිබේ. එහෙත් ඊටද බැංකුවේ පෙර කී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් විරෝධතාව දක්වා ඇත්තේ එය මුදල් අවභාවිත කිරීමක් ලෙසය. මුලිකව රුපියල් කෝටි 70ක් එම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇතත් ඊට වැය වී ඇත්තේ රුපියල් කෝටි 49ක මුදලකි. ඩිජිටල්කරණ ව්‍යාපෘතියට බැංකුව තුළින්ම එල්ල වූ විරෝධතාව හේතුවෙන් ඒ පිළිබඳ විමසීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ අතර බැංකුවේ කරුණු දැක්වීමට අනුව එහි හානියක් නොමැති බවට තහවුරු කරමින් එම ව්‍යාපෘතිය කරගෙන යාමට මහජන බැංකුවට ඉඩ දී තිබේ. එහෙත් අදටත් මහජන බැංකුවේ වෘත්තීය සමිති සීතල යුද්ධය අවසන්ව නැත. දැනගන්නට ඇති පරිදි ඔවුන්ට ඇත්තේ වෘත්තීමය ගැටළු නොව බැංකුවේ පාලනාධිකාරිය සමඟ වන කොන්තරයකි. එම කොන්තරයේ දිග පළල කෙසේද යත් මිට පෙර වෘත්තීය සමිති විසින්ම දිනා ගත් සේවක වරප්‍රසාද දැන් අහිමි කර ගෙන තිබේ. ප්‍රමුඛතාව දියයුතු කාරණා පසෙකලා පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යාමෙන් පරිප්පුව කන්න වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙකුට නොව සියල්ලන්ටමය. අද මහජන බැංකුවේ සේවකයන්ට වී ඇත්තේද අහක තියෙන පරිප්පුවක් බෙදාගෙන කෑමටය. පරිප්පුවේ රස කොතෙක්ද යත් වෘත්තීය සමිති නියෝජිතයන්ට ආයතනයේ පරිපාලනය සමඟ සාකච්ජාවක් ලබා ගැනීම සඳහා දර දිය අදින්නට සිදුව ඇත්තේ ද සෙසු සේවකයන්ට වීමය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS