Advertisements

Breaking News

මයුරි තාම තම සැමියාට සිදු වූ දේ ගැන සොයමින් ඉන්නවා

මයුරි තාම තම සැමියාට සිදු වූ දේ ගැන සොයමින් ඉන්නවා

පසුගිය සැප්තැම්බරයේ දෙවනිදා මයුරී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩි වී සිදු කළ උද්ඝෝෂණය නිසා ඇයට කොටුව පොලීසිය විසින් සරදම්කාරී පැමිණිල්ලක් ද දමන ලදී.
එනම්‘ සිය දරුවන් කෘර අයුරින් පාවිච්චි කළාය‘ යනුවෙනි. එපමණක් නොව පසුගිය සැප්තැම්බර් දෙවැනිදා මයුරිගේ ආරාධනය පිළිගෙන ඇයට සහාය පළ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණි දහ හතර දෙනා වරින් වර කොටුව පොලීසියට කැඳවා තිබෙන අතර ඔවුන්ගේ සහාය ඇයට යළි ලබා ගත නොහැකි වන සේ එම පිරිස අපහසුතාවයට පත් කිරීමටද පොලීසිය විසින් කටයුතු කරන ලදී. මධුෂ්කව පැහැරගන්නා විට මයුරි ගැබ්බරව සිටි අතර ඇයට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණි. මෙම දරුවන් දෙදෙනා අදවනතුරු තම පියාගේ උණුසුම ලබා නොමැත.

“මගේ මහත්තයාව ඇරන් ගියෙත් කෘර විඳියට නෙමෙයිද?“
ඈ සන්සුන් මා වෙත නොසන්සුන් පැනයක් යොමු කරනු ලබයි. පසුගිය සතියේ සිකුරාදා දින ඇය මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට කොටුව පොලීසියට ගිය අවස්ථාවේ ඔවුන් ඇයගෙන් අසා ඇත්තේ, මරණ සහතිකය ලබා ගත්තා ද යන්නයි. ඇය එවිට පවසා තිබෙන්නේ එවැනි සහතිකයක් දෙනු ලබන්නේ නම් එය ලබා දිය යුත්තේ ඔවුන් බවයි.
කෙසේ වුවද දැන් ඒ කියමන හරහා සක් සුදක් සේ පැහැදිළි වන්නේ මයුරිගේ සැමියා ජීවතුන් අතර නොසිටිනවා යන්නයි. එය කොටුව පොලීසියේ ස්ථානාධිපති පවා දන්නා රහසක් වී ඇත. නමුත් ගැටළුව තිබෙන්නේ මධුෂ්කට කුමක් සිදු වූවාද සහ ඔහුව පැහැර ගනු ලැබුවේ ඇයි? යන්න තවම නොවිසිදී තිබීමයි. මධුෂ්කව පැහැරගෙන යෑමට පැමිණි ඩොල්පින් රථය(වාහන අංක- 252-9209) ඔහුගේ ත්‍රී රෝද රථයේ ගමන් මඟ අවුරවාලීමෙන් මධුෂ්ක සහ ඔහු සමඟ ගමන් ගනිමින් සිටි ඔහුගේ මිතුරන් දෙදෙනා ද සමඟින් පැහැරගෙන ගියේ , මීට වසර හතරකට පෙරාතුවය.

එහිදී පැහැරගෙන යෑමට පැමිණි අය පවසා තිබෙන්නේ තමන් පොලීසියෙන් බවයි. එමෙන්ම එම පිරිස අත් මාංචු පවා භාවිතා කොට තිබේ.
මධුෂ්ක පැහැර ගැනීමෙන් අනතුරුව හමුදා කඳවුරකට ගෙන ගොස් ඇති අතර ඔහුගේ යහළුවන් දෙදෙනා පැහැරගත් දිනට පසු දින පුත්තලම් පාරේ ස්ථානයක දී අතහැර දමාගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් සිදු වන පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(සී.අයි.ඩී.) විමර්ශන කටයුතු සඳහා ඔවුන් දෙදෙනාගේ සහාය ලබා ගත හැකි වුවද ඔවුන් දෙදෙනාගෙන් සක්‍රීය දායකත්වයක් මේ පරීක්ෂණය වෙනුවෙන් ලබා ගැනීමට සී.අයි.ඩී. ය සමත් වී ඇද්ද යනු ගැටළුවකි. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක් වූ මයුරි මෙසේ සඳහන් කළාය.
“ අනිත් පැහැරගත්ත දෙන්නා දැන් නිදැල්ලේ ඉන්නවා. ඒ අයගෙන් තොරතුරු අහන්න තිබ්බනෙ.“
මීට වසරකට පමණ පෙරාතුව අනුරාධපුර උසාවියේ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව සී.අයි.ඩී. විමර්ශන කටයුතු සඳහා යොමු කොට තිබුණ ද මධුෂ්කගේ දුරකථනයට පැමිණ තිබූ ඇමතුම් සම්බන්ධයෙන් සී.අයි.ඩී. ය වෙනුවෙන් නිශ්චිත කරුණු ගොනු කිරීමක් මේ දක්වා උසාවිය හමුවේ ඉදිරිපත් වී නොමැත. එපමණක් නොව ඔවුන් මධුෂ්ක පැහැරගෙන ගිය හමුදා කඳවුරේ නිළධාරීණ් සම්බන්ධයෙන් ද උසාවිය ඉදිරියේ කරුණු දැක්වීමක් කර නොමැත. මෙය බරපතළ කාරණයක් වන්නේ මයුරි මෙන්ම ඇගේ නීතිඥවරයා ද මේ පිළිබඳව මෙසේ සඳහන් කිරීම නිසයි.

“මේ නඩුව තාම කල්මරමින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ“ මයුරී එසේ අප සමඟ පැවසූ අතර නීතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා පැවසුවේ මෙසේය. “හැමදාම සී.අයි.ඩී. එකෙන් කියන්නෙ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලයි. ඉතිං නඩුව දවසින් දවස කල් යනවා.“
මේ සම්බන්ධයෙන් මයුරී විසින් මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි කළ ද ( HRC 3926/13 ) ඈ වෙනුවෙන් යුක්තිය ඉටු වී නොමැත. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇයට පොරොන්දු වූවද එම පොරොන්දු පවා තවම ඉටු වී නොමැත.

අතුරුදන්කරවූවන් සම්බන්ධයෙන් වත්මන් රජයේ වැඩපිළිවෙළ
මෙම රජය විසින් ‘ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත‘ 2016 අගෝස්තු 23 වෙනිදා කථානායකවරයා අත්සන් තැබීමත් සමඟ නීතිගත කරගන්නා ලදී. නමුත් එය මේ වන විටත් ක්‍රියාකාරී මට්ටමේ නොමැත. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (WGEID) පවසන ආකාරයට ඔවුන්ගේ වසර 35ක ඉතිහාසය තුළ වැඩියෙන්ම අතුරුදන්කරවීම් සිදු වූ රට වශයෙන් ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත් වී තිබේ. ඔවුන් විසින් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත යොමු කර ඇති අතුරුදන් කිරීමේ සිද්ධීන් ගණන 12,341ක් වන අතර රජය තහවුරු කළ සිද්ධින් ගණන 6551ක් ද වේ. මෙහිදී අනෙකුත් මූලාශ්‍ර තහවුරු කළ සිද්ධීන් ගණන 40ක් ද අමතර සිද්ධීන් 5,750ක් ද වේ.
පසුගිය රජය විසින් පිහිටුවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් යුතු පරණගම කොමිසම සිය වාර්තාව 2015 අගෝස්තුවේදී එළි දැක්වුවේය. එම කොමිසමට ලැබුණ පැමිණිලි ගණන 18,476ක් වන අතර යුද්ධය පැවති කාලයේ සමස්ථ අතුරුදන්වීම් සංඛ්‍යාව 24,000ක් පමණ විය හැකි බව පැවසේ.

අතුරුදන් කරවීම මානව වර්ගයාට එරෙහිව සිදු කරනු ලබන දැවැන්ත අපරාධයකි. ඉහත සංඛ්‍යාවලින් දිස් වන්නේ මනුෂ්‍යය ජීවිත බව අපි අමතක නොකළ යුතු වන්නෙමු. එම නිසා සත්‍යය සොයා යෑමත් යළි එවැනි දේ සිදු නොවීමටත් සමස්ථ මහජනතාවගේම හඬ එක් වී එක් හඬක් ලෙස කරළියට පැමිණ යුතුය. අනිත් අතට මෙම රජය විසින් සම්මත කරගන්නා ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත යම් යම් සංශෝධන වලට බඳුන් කළ යුතු වන්නේ එය මුල් තැනක් දෙනු ලබන්නේ ඔවුන්ට පෙර පැවති ආණ්ඩුවලදී සිදු වූ අතුරුදන්වීම්වලට නොව වර්තමානයේ සිදු විය හැකි අතුරුදන්කරවීම් පිළිබඳවය. පෙර පැවති සිදුවීම් විමර්ශනය කරනුයේ එම පුද්ගලයාගේ තරාතිරම බලා එම පුද්ගලයාගේ අතුරුදන්වීම සමස්ථ සමාජයට කෙතරම් බලපාන්නේදැයි සළකා බැලීමෙන් අනතුරුවය.

මේ නිසා මධුෂ්ක වැනි සාමාන්‍යය සිවිල් වැසියන් සම්බන්ධයෙන් එහිදී සොයා නොබැලෙනු ඇත. එය බරපතළ කාරණාවකි. නමුත් සත්‍යය කිසියම් හෝ දිනෙක එළිදරව් කර ගත යුතුය. එමෙන්ම අවශ්‍යය නීති ප්‍රතිපාදන සැළසීමට වත්මන් ආණ්ඩුවට බල කිරීමට සිවිල් සංවිධාන හා බුද්ධිමතුන් පෙළගැසිය යුතුය. එමෙන්ම යම් යම් අඩු පාඩු ඇතුව හෝ ‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය‘ ක්‍රියාත්මක කළ යුතු ද වේ. නමුත් මේ කිසිවක් මේ වන විටත් සිදු වී නොමැති අතර මයුරි වැනි තවත් දහස් ගණනක් දෙනා තම ඥාති හිත මිත්‍රාදීන්ට සිදු වූයේ කුමක් දැයි කියා මේ වනවටිත් නොදනී.

පනත සම්බන්ධයෙන් අඩුලුහුඩුකම් සාකච්ඡා කිරීම මේ ලිපිය දීර්ඝ විය හැකි කරුණක් බැවින් ඒ පිළිබඳව සවිස්තරාත්මකව වෙනම ඉදිරියේදී ලංකා නිවුස් වෙබ් අඩවිය හරහා සාකච්ඡාවට ලක් වෙනු ඇත. එතෙක් මයුරි යනු සමස්ථ අතුරුදන්කරවූ පුද්ගලයන්ගේ ළබැඳියන්ගෙන් තවත් එක් හඬක් පමණක් බව අප තේරුම් ගත යුතුය. නමුත් එවැනි හඬවල් විසිහතර දහකට ආසන්න බව(පසුගිය රජය කාලයේ පමණක්) බවත් අප මතක තබා ගත යුතු කරුණකි.
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ අතුරුදන්වූවන්ගේ සංගමයේ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා,

“මධුෂ්කගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් මයුරිත් මධුෂ්කගෙ පවුලෙ අයත් වරින් වර ඒ වෙනුවෙන් මැදිහත් වුණා. ඒ අය පොලීසිවලට ගියා යම් යම් උද්ඝෝෂණ කළා. ඒ අවස්ථාවේ විශේෂයෙන්ම මහින්ද රෙජීමය යටතේ,කව්රු හෝ පුද්ගලයෙක් නැතිනම් කණ්ඩායමක් යම් උද්ඝෝෂණයක් කරනවා නම්, විශේෂයෙන්ම අතුරුදහන්වීම් සම්බන්ධයෙන් අපි අපිට පුළුවන් උපරිම සහයෝගය දුන්නා. අපිට පුළුවන් වුණා ඒක අනුරාධපුර නගරයේ කතා කරන මාතෘකාවක් බවට පත් කරගන්න. අපි හැමදාම උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා, කොළ බෙදුවා. අපිට ඒ අයුරින් මිනිස්සු දැනුවත් කිරීමේ හැකියාවක් තිබුණා. ඒ අනුව පොලිස් නිළධාරියෙක්ගෙන් ප්‍රශ්න කරන්න ඉල්ලුවා, නමුත් අවුරුද්දකට විතර පස්සේ තමයි මේ කාරණය අධිකරණයට ගන්න පුළුවන් වුනේ. මේ සිදුවීම පිළිබඳව නිසියාකාර පරීක්ෂණ සිදු වන්නේ නැහැ කියලා අපි අපේ පැත්තෙන් අධිකරණයට කිව්වම, අධිකරණය ඒක සී.අයි.ඩී.යට භාර කළා. නමුත් ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කියලා හැමදාම නඩුව කල් අරිනවා. අපි හිතනවා සාධාරණව මේක විභාග වෙන්නෙ නෑ කියලා. මයුරිගෙ දිව්රුම් ප්‍රකාශයෙනුත් එයා පැහැදිළිව කියනවා මහේෂ් සේනානායක කියන උසස් පොලිස් නිළධාරියා කිව්වා කියලා, පුත්තලමට අරන් යනකන් එයා දන්නවා එතනින් එහාට මොකක්ද වුණේ කියලා දන්නෙ නෑ කියලා. නමුත් මේ වෙනකම් සේනානායකගෙන් කිසිඳු කටඋත්තරයක් අරන් නැහැ.“
මේ සම්බන්ධයෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ, රුකී ප්‍රනාන්දු මහතා,

දැන් මධුෂ්ක පැහැරගෙන ගිහින් අවුරුදු හතරකට කිට්ටු වෙනවා. ඒ පිළිබඳ තියෙන සියළු සාක්ෂි මේ වෙනකොට පොලීසියට භාර දීලා තියෙනවා. එතැනදී සඳහන් වෙලා තියෙනවා පොලීසිය මේ සිදුවීම ගැන දන්නවා කියලා. ඒත් දැන් අවුරුදු හතරක් ගියත් තාම ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා නෑ. මයුරි නඩු කියලා තියෙනවා පැමිණිලි කරලා තියෙනවා මානව හිමිකම් කොමිසමට, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරලා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීණ් හම්බ වෙලා තියෙනවා. විවිධ අවස්ථාවලදි විවිධ පොරොන්දු දීලා තියෙනවා ඒ අය නමුත් අදවෙනතුරු කිසිම දෙයක් වෙලා නෑ. එතකොට ඒකෙන් තේරෙන්නෙ කලින් ආණ්ඩුවෙ වගේම මේ ආණ්ඩුවෙත් භාර්යාවකට, පවුලේ අයට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න, ස්වාධීන විමර්ශනයක් ලබා ගන්න අවස්ථාවක් නෑ කියලා. මොකද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දීපු පොරොන්දු කිසිම දෙයක් ඉෂ්ඨ වෙලා නෑ. මේක බොහොම ඛේදනීය තත්වයක්. එයාගෙ පොඩි ළමයි දෙන්නට අවශ්‍යය පහසුකම් සපයන්නවත් අවශ්‍යය ක්‍රියාමාර්ග අරන් නැහැ. මේක මයුරිට විතරක් නෙමෙයි දස දහස් ගණන් ලංකාවේ අතුරුදන් වූ අයගෙ පවුල්වලට තියෙන තත්වයක්. ඉතිං මයුරි කියන්නෙ මම දන්න එක් කෙනෙක් විතරයි. ඒ වගේ තව දහස් ගණනක් ලංකාවේ ඉන්නවා.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍යය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කරගැනීමට අප ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.


සටහන
බාසුරු ජයවර්ධන




No comments