Hot!

ආණ්ඩුව සෙවල වෙන්න පුළුවන්. ඒත් විකල්පය බිහිසුණු විය හැක්කේ මන්ද යත්.. - රංග ජයසූරිය

ආණ්ඩුව සෙවල වෙන්න පුළුවන්. ඒත් විකල්පය බිහිසුණු විය හැක්කේ මන්ද යත්.. - රංග ජයසූරිය

වර්තමාන ආණ්ඩුවේ අවාසනාව ව්‍යුත්පන්න වන්නේ, ලැබූ ජයග්‍රහණය සමග ඉදිරියට යාම වෙනුවට, පැවති රජයේ ආර්ථික උරුමයෙන් නිදහස් වීමට සහ එම රජයේ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට සිදුවීම නිසා, අවසාන වරට මැතිවරණයක් ජයග්‍රහණය කොට වසරකටත් වැඩි කාලයක් ගතව ඇතත්, තවමත් වර්තමාන ආණ්ඩුවට ‘විපක්ෂ මනෝ භාවයේ’ ගැලී සිටීමට සිදුවීම තුළිනි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේම අලකලංචිත් ඊට එක් වන විට, තත්වය තවත් සංකීර්ණ වන්නේය. විදේශ විනිමය අර්බුදයකට රට මුහුණදී සිටින අවස්ථාවේ යෝධ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඒ මේ අත වැනෙමින් සිටීම නිසා, රාජපක්ෂලා දස වසරකදී කොල්ලකෑ තරමට වඩා ධනයක් නාස්ති විය හැකිය. ඒ මදිවාට, අන්තවාදී බෞද්ධ කල්ලියක අවකල් ක්‍රියාවන් ගැන අසංවේදීව සිටීම, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, භයානක අනවධානයකි. ස්වභාවික ආපදාවක් තුළ රට ගැලී සිටියදී ඇමතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා සීමිත මහජන සම්පත් යෙදවීමට තැත් කිරීම (පසුව එය අතහැර දැමූවත්), ආණ්ඩුවේ අසංවර බව කියාපායි.

වර්තමාන ආණ්ඩුවේ වේවා, හිටපු ආණ්ඩුවල වේවා, දේශපාලඥයන් ගැන ජනතාව තුළ ඇත්තේ ඉතා නරක ආකල්පයකි. (නිතරම නිවැරදි විය නොහැකි වෙතත්), දේශපාලඥයන්ව සාමාන්‍යයෙන් සැළකෙන්නේ, ඥාති සංග්‍රහය කෙරෙහි ලැදි, මහජන මුදල් ආතක්පාතක් නැතිව නාස්ති කරන, දූෂිත, මැර කල්ලියක් වශයෙනි. එහෙත් ලොකුම විහිළුව වන්නේ, එතරම් දේශපාලඥයන්ට ගරහන ඡන්දදායකයන්ම ඊළඟ වාරයේදීත් එම දේශපාලඥයන්වම පාර්ලිමේන්තුවට පත්කර එවීමයි. එබැවින්, ඡන්දදායකයා දේශපාලඥයාව අවමානයෙන් සළකතත්, එම හැඟීමත් ඇතැම් කොන්දේසිවලට යටත් වන බවක් පෙනෙන්ට තිබේ. ඡන්දදායකයාගේ ගෝත්‍රික මනෝ භාවයට කූට්ටාලිකම් කිරීමෙන්, නැවත වරක් තමන්ට පාර්ලිමේන්තු ආසනයක් දිනාගත හැකි බව, බොහෝ විට, සක්සුදක් සේ දේශපාලඥයා අවබෝධ කරගෙන සිටී.

සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය සහ සම්ප්‍රදායික දේශපාලඥයා මෙසේ නිර්දය විවේචනයට ලක්වන එකම රට ලංකාව නොවේ. එහෙත් තම අසන්තෝසය හුදෙක් නාහෙන් ඇඬිම සඳහා පමණක් ඡන්දදායකයා විසින් පාවිච්චියට ගන්නා එකම රට ලංකාව විය හැකිය. ඊට වැඩි දෙයක් කිරීමට ඔහු සමත් නොවෙයි.

ලෝකයේ වෙනත් තැන්වල මේ ජනතා අසහනය දේශපාලන පද්ධතියේ විශාල වෙනස්කම්වලට තුඩුදී තිබේ. ඉන්දියාවේ කලින් බලයේ සිටි කොන්ග්‍රස් ආණ්ඩුවේ දූෂිත ක්‍රියාකලාපය ගැන ඇති වූ බරපතල මහජන අසහනය, දූෂණ-විරෝධී වේදිකාවක් ගොඩනැගූ ‘ආම් ආද්මී පක්ෂයේ’ (පොදු මිනිසාගේ පක්ෂයේ) සීග්‍ර නැගීමට පාදක වුණේ ය. මේ කාරණය අළලා නව දිල්ලියේ මැද පංතියේ මහරාජාවරුන් යම් විමතියකට පත්කරනු ලැබුවත්, ඉන්දියාවේ ගැමි සමාජයේ ප්‍රාථමික ස්වභාවය තුළ ‘ආම් ආද්මි’ පක්ෂයේ ආකර්ෂණය වැඩි කල් නොගොස් වියැකී ගිය අතර, ව්‍යාපාරික පංතිය කෙරෙහි වැඩි නැමියාවක් ඇති ‘බී.ජේ.පී.’ පක්ෂය බලය තහවුරු කර ගත්තේය.

ඇමරිකාවේ ගොඩනැගෙමින් තිබූ මහජන අසහනය දඩමීමා කර ගනිමින් ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට ආවේය. නාගරීකරණය සහ ගෝලීයකරණය තුළ තමන්ගේ සම්ප්‍රදායික වරප්‍රසාදිත තත්වය අවදානමට පත්වන බවට හැඟීමක් තිබූ ‘සුදු කරපටිකාර මැද පංතික වැඩ කරන පංතියෙන්’ විශාල කොටසක් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඝෝෂාවට ආකර්ෂණය විය. ඔහු බලයට පත්වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

බල තන්ත්‍රය කෙරෙහි වන මහජන අප්‍රසාදය දේශපාලනික පද්ධතියේ සාධනීය වෙනසකට තුඩුදුන්නේ ප්‍රංශයේදී ය. එහිදී එම්මානුවෙල් මැක්රොන් සම්ප්‍රදායික දේශපාලනික ප්‍රභූ තන්ත්‍රය පරාජය කොට ජනාධිපතිවරණයෙන් ජයගත්තේය. තනි වසරක තරම් කෙටි කාලයක් තුළ ගොඩනැගුණු ඔහුගේ දේශපාලන ව්‍යාපාරය දැන් පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් විශාල ජයග්‍රහණයක් ලැබීමට නියමිතව සිටී. මෑත කාලයේ ලෝකයේ විවිධ තැන්වල ඇති වෙමින් තිබූ පසුගාමී ජාතිවාදී ව්‍යාපාර සහ අධිකාරීවාදී සිල්ලර ජනප්‍රියවාදය ආපස්සට හැරැවූ තීරණාත්මක ලක්ෂ්‍යය එය විය.

ප්‍රංශයේ ඇති වූ එම දේශපාලනික විපර්යාසයන් වෙතින් ආශ්වාදයක් ලැබීම එකකි. එහෙත්, ලිබරල් මාධ්‍යමික දෘෂ්ටිවාදය මත පදනම්ව බිම් මට්ටමේ ජයග්‍රහණයක් ජාතික මට්ටම කරා ගෙන ගිය එම ප්‍රවණතාව අපේ කලාපයේ දක්නට නොලැබේ. එබැවින් සම්ප්‍රදායික දේශපාලනය කෙරෙහි ඇති වන අප්‍රසාදය ඉතා හානිකර, බියකරු සහ කඩාකප්පල්කාරී අන්තයන් වෙත යාමට ඇති ඉඩකඩ බොහෝ ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නැති විට, ඉහත කී මහජන අප්‍රසාදය අවස්ථාවාදී දේශපාලඥයන් විසින් ඩැහැගැනීමේ ඉඩකඩ අපේ රටවල වැඩියෙන් තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නැති වීම හෝ එවැන්නක් සඳහා වන මහජන උද්ඝෝෂණයක් නොමැති කම, අපේ කලාපයේ පොදු ජනතා බලගැන්වීම්හි විවිධ දිශානතීන් ඔස්සේ විග්‍රහ කළ හැකිය. යටත්විජිතහරණ යුගය තුළ ඉස්මතු වූ නව රාජ්‍යයන් විසින් අනුදත් විවිධ ආකාරයේ දේශපාලනික බලමුළු ගැන්වීම් ගණනාවක් තිබේ.

ලෞකික අරාබි අධිකාරීවාදී තන්ත්‍රයන් යටතේ ගමාල් අබ්දුල් නසාර් විසින් සර්ව-අරාබි ජාතිකවාදී ධජය වටා ජනතාව පෙළ ගැස්වූ කාලයක් තිබුණි. එහි කූඨප්‍රාප්තිය සටහන් වුණේ 1967 දින 6 යුද්ධය තුළ ය. මේ කාලයේ අරාබිකරයේ පැවති අධිකාරීවාදී ලෞකික රාජ්‍යයන් නූතනවාදී ය. ඔවුන් ආගම තියාගත්තේ අතේ දුරිනි. එසේ කොට, අරාබි ජාතිකයන් අතර ඊශ්‍රායලය කෙරෙහි තිබූ සාමූහික වෛරය වෙත මේ ලෞකික රාජ්‍යයන් හරහා පන්නරය සැපයීය. එසේම කේන්ද්‍රගත ආර්ථික මාදිලියක් වටා එම රටවල් ගොඩනැගීය. මේ සෑම රටකම පොදු ගුණාකාරය වුණේ, විරුද්ධවාදීන් සිරගත කරමින්, විසම්මුතිය කුඩුපට්ටම් කරමින් ගෙන ගිය, දේශපාලනික සකල බලය ඒකරාශී කරගත්, ඒකාධිපති රාජ්‍ය මාදිලියකි. (වෙනත් අරාබි නායකයන්ට වෙනස්ව දැඩි බටහිර ගැති ප්‍රතිපත්තියක් ගෙන ගිය ඉරානයේ ෂා රජු වැන්නන් පවා අනුගමනය කෙළේ එම රාජ්‍ය මාදිලියයි).

1967 දින 6 යුද්ධයෙන් අන්ත පරාජයක් ලැබීමෙන් අනතුරුව සර්ව-අරාබි ජාතිකවාදයේ ආකර්ශණය වියැකුණි. ඒ වෙනුවට, තරමක් මෘදු දේශපාලනික ඉස්ලාම්වාදයක් ක්‍රම ක්‍රමයෙන් හිස එසැවීය. සමහර රාජ්‍යයන් තමන්ගේ බල තන්ත්‍රයන් සුජාත කර ගැනීම සඳහා ඒ ඉස්ලාම්වාදය පාවිච්චියට ගත් අතර, එහි තිබූ අගතිය දුටු තවත් නායකයන් එය තලාපෙලා දැමීය. ජනතා බලය තනි පාලකයන්ගේ ඒකාධිකාරී බල ව්‍යාපෘතියක් වීම නිසා එම රටවල් තුළ ස්වාධීන ආයතන පද්ධති ගොඩනැගුණේ නැත. ඒ තත්වය තුළ, මුලින්ම ෂා රජුගේ ඉරානයත්, පසුව ඉරාකය, සිරියාව, යේමනය සහ මුබරක්ගේ ඊජිප්තුවත් කඩා වැටෙන්ට පටන් ගත් විට, එක පැත්තකින් මේ රටවල් ස්ථාපිත ආයතන පද්ධතියකින් තොර වීම නිසාත්, අනිත් පැත්තෙන් දීර්ඝ කාලයක් තිස්සේ මර්දනය කරනු ලැබ තිබූ කල්ලිවාදී එදිරිවාදීකම් පිපිරෙන්ට ආසන්නව පැවති නිසාත්, බලයෙන් පහ කරනු ලැබූ පාලකයන්ට වඩා අලුතෙන් බලයට පත් පාලකයන් විනාශකාරී විය. ඒ අනුව, අද වන විට ‘අරාබි වසන්තයක්’ ගැන වැඩි සද්දබද්දක් ඇසෙන්ට නැත.

දකුණු ආසියාවේ අප ගමන් ගත්තේ වෙනත් මාවතකයි. නේරුගේ ඉන්දියාව සර්වජන ඡන්ද බලය උරුම කර ගත්තේය. ඒ අතරේ ජනතාවගෙන් අති බහුතරයක් අන්ත දිළිඳු භාවයේ ගැලී සිටියහ. දේශපාලනික අයිතීන් හරහා ඔවුන්ගේ සමාජ තත්වයන් වර්ධනය වෙතැයි අපේක්ෂා කෙරුණි. ශ්‍රී ලංකාවේ අපි 1956 දී ස්වභාෂා ප්‍රතිපත්තිය වැළඳ ගනිමින්, නිලධර තන්ත්‍ර ප්‍රවේශයේ ප්‍රමිතීන් බාල කරමින්, දේශපාලනික සහ සමාජ බලමුළුවල යාං දොරවල් විවර කෙළෙමු. එයින් ඇති වුණේ නොසිතූ ප්‍රතිවිපාක වැළකි. ආයතන පද්ධතිවල කාර්යක්ෂමතාව පවා එහිදී කඩා වැටුණි.

බොහෝ විට යහපත් අරමුණකින් කරන ලද අධි-වේගී දේශපාලනික බලමුළු ගැන්වීම් තුළින් ව්‍යුත්පන්න වුණේ නිෂේධාත්මක ප්‍රතිවිපාකයන් ය. එක්තරා දුරකට ඒ මගින් බිම් මට්ටමේ පැවති ප්‍රතිගාමී ආවේශයන්ට සුජාත භාවයක් සැපයුණි. ඒ ගෝත්‍රික සහජාසයන් කාලයාගේ ඇවෑමෙන් පාර්ලිමේන්තුව තුළින් නිරූපණය විය. එය වාර්ගික අසහනයේ එක් හේතුකාරකයකි. කෙසේ වෙතත්, ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය තුළ ඉන්දියාවේ මෙන්ම මෙරටේ ද නායකයෝ, සවිබල ගැන්වීමේ වඩාත් නිශ්චිත මාවත වන නිදහස් වෙළඳ පොළ බැහැර කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොඩනැගුණු රේන්දකාර රාජ්‍යයන්, එක පැත්තකින්, ජීවිකාව උපයා ගැනීමේ අවස්ථා, ස්වකීය ආර්ථික පිළිවෙත් හරහා ජනතාවට අහිමි කෙරෙන අතරේ, අනිත් පැත්තෙන් තම දේශපාලනය සඳහා එම ජනතාවට මහජන මුදල් දන් දෙන ප්‍රතිපත්තියක් ගෙන ගියේය. අවසානයේ, අද වන විට විකෘති සවිබල ගැන්වීමක් අප දායාද කරගෙන තිබේ.

තෙවන මාවතක් ගත් රාජ්‍යය සමූහයක් තිබේ. ඒ, අධිකාරීවාදී පාලන තන්ත්‍රයක් තුළ ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල් සමූහයක් ය. යම් තාක් දුරකට චිලි රටත් ඒ මගම ගත්තේය. මේ රටවල්වල බලය හෙබැවූයේ ද, අරාබිකරයේ මෙන්ම, ඒකාධිපතියන් ය. දේශපාලනික නිදහසක් හෝ දේශපාලනික විසම්මුතියකට ඒ රටවල ඉඩක් නොලැබුණි. එහෙත් අරාබිකරයේ මෙන් නොව, මේ රටවල් පෞද්ගලික ආයෝජනය හරහා ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම කෙරෙහි උත්සුක විය. කාලයක් යන විට, ආර්ථික අවශ්‍යතා නිසාම, වාණිජ ගැටළු විසඳා ගැනීම සඳහා වන යාන්ත්‍රණයන් ඇති කිරීමට රාජ්‍යය මැදිහත් වූ අතර, එක්තරා ආකාරයක ස්වාධීන ආයතන පද්ධති ඇති කර ගනිමින්, ක්‍රම ක්‍රමයෙන් නීතියේ ආධිපත්‍යයට පාර කැපීය. අධිකාරීවාදී සංවර්ධනය ඔස්සේ කාන්දු වූ අහඹුලාභ ඉදිරියේ දේශපාලනික පීඩනය සහ මර්දනය දුර්වල කෙරුණි. ඒ ඒකාධිපති රාජ්‍ය පාලකයන් අවසානයේදී, ආර්ථික වශයෙන් සවිබල ගැන්වුණු ජනතා විරෝධය ඉදිරියේ වේදිකාවෙන් බැස යද්දී, සක්‍රීය ආර්ථිකයක් සහ යම් තාක් ස්වාධීන ආයතන පද්ධතියක් රට තුළ ඉතිරි කොට ගියේය. සාපේක්ෂ වශයෙන් ඔවුන් සතුව තිබූ ආර්ථික ස්ථාවරත්වය තුළ පුද්ගල අයිතීන් කෙරෙහි තත්පර වීමටත් අවස්ථාවක් ඔවුන්ට ලැබුණේය. කාලයාගේ ඇවෑමෙන් අපට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වීමට බොහෝ විට ඔවුන්ට හැකි වනු ඇත. සමකාමී විවාහ නීතිගත කෙරෙන ප්‍රථම ආසියාතික රාජ්‍යය ඉන්දියාව නොවී තායිවානය වීම තුළ මේ කතාන්තරයේ අර්ථය මතු වෙයි.

   අප සතුව ඇති දේශපාලනික සවිබල ගැන්වීමේ දෝෂ සහගත මාවත දේශපාලනික සබුද්ධිකත්වයක් වෙත අපව රැගෙන ගොස් නැත. ඒ මාවත තුළ සුජාත භාවයට පත්ව ඇත්තේ ග්‍රාමීය සහ පසුගාමී ජනතාවකගේ ප්‍රාථමික සහජාසයන් පමණි. අද අප පත්ව ඇති දුෂ්කර තත්වය ඒ ක්‍රියාවලියේ ප්‍රතිවිපාකයකි.

2016 ජුනි 13 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ The Government Might Be Pathetic: But Why the Alternative is Worse? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

0 comments:

Post a Comment