ගතවූ වසර තුළ ලොව පුරා මරාදැමුණු මාධ්‍යවේදීන් සංඛ්‍යාව, වාර්තාගත වී තිබෙන අන්දමට අනූ තුන් දෙනෙකි. මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික ෆෙඩරේෂනයට අන...
ගතවූ වසර තුළ ලොව පුරා මරාදැමුණු මාධ්‍යවේදීන් සංඛ්‍යාව, වාර්තාගත වී තිබෙන අන්දමට අනූ තුන් දෙනෙකි. මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික ෆෙඩරේෂනයට අනුව,ලෝකයේ මාධ්‍යවේදියෙක් බවට පත්වීමට භයානකම රටවල් වන්නේ ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයයි. භයානකත්වය අනුව එම රටවල සිදුවූ මාධ්‍යවේදී ඝාතන මෙසේ ය.
ඉරාකය -15
ඇෆ්ගනිස්ථානය-13
මෙක්සිකෝව-11
යේමනය-8
ග්වාතමාලාව-6
සිරියාව-6
ඉන්දියාව-5
පාකිස්ථානය-5
මූලාශ්‍රය: IFJ
මෙහිදී බැලූ බැල්මටම පෙනෙන අන්දමට මේ සංඛ්‍යාලේඛන පසුගිය වසරට වඩා අඩු අගයක තිබේ. ඉතින් එය සතුටු වන්නට කාරණයක් නොවේද? මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික ෆෙඩරේෂනයට අනුව එය එසේ නොවේ. එයට හේතුව,මාධ්‍යවේදීන්ගේ ඝාතනවලින් පසු එම අපරාධයට වගකිවයුත්තන් නඩුත් නැති-විපාකත් නැති විනිර්මුක්තිමය සංස්කෘතියක් ඇති වෙමින් පවතින බව ඔවුන්ට නිරීක්ෂණය වන හෙයිනි.
උදාහරණයක් වශයෙන් මියැන්මාරයේ ඬේලි ඉලවන් පුවත්පතේ මාධ්‍යවේදී සෝ මෝ ටුන් 2016 දෙසැම්බර් 13 වැනිදා මරා දමා තිබිණි. ඕලන්ද ජාතික මාධ්‍යවේදී ජෙරොයන් ඔයර්මන්ස් ඔක්තෝබර් මාසයේදී මරා දමනු ලැබුවේ සර්ටිහිදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වාර්තා කිරීමට යාමේදී ය. සෝමාලියාවේ ප්‍රකට ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් වන අබ්ඩියාසිස් අලි හජි මොගඩිෂු අගනුවරදී වෙඩි තබා මරාදමා තිබුණේ නාඳුනන තුවක්කුකරුවන් විසිනි. ඇෆ්ගනිස්ථානයේ ඇරීනා නිව්ස් රූපවාහිනිය වෙනුවෙන් සේවය කළ නෙමතුල්ලා සහීර් ඝාතනයට ලක්වුයේ පාරේ අටවා තිබූ බෝම්බයකට හසුවීම නිසා ය.
කලාප වශයෙන් ගත් විට මාධ්‍යවේදීන්ට භයානකම කලාපය වන්නේ මැද පෙරදිගයි. මෙම කලාපයෙන් පසුගිය වසර තුළ ඝාතන 30ක් වාර්තා වී තිබේ. ආසියා පැසිෆික් කලාපයෙන් ඝාතන 28 ක්ද. අප්‍රිකාවෙන් ඝාතන 8ක්ද, ලතින් ඇමරිකාවෙන් ඝාතන 24 ක් ද වාර්තා වී ඇත. යුරෝපයෙන් වාර්තා වී ඇති මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාව 3 කි.
එය එසේ වුවත් අතුරුදන් වූ මාධ්‍යවේදීන් මේ ලැයිස්තුවට ඇතුළත් නොවන බව සලකන්න. ඔවුන් ගණනින් බොහෝ විය හැකිය. එනිසා මේ ලැයිස්තුව තව බොහෝ දිගුවිය හැකිය. ඔවුන් රාජගිරියේ දරමඩුව වැනි තැනකදී සුදු වෑන් රියක් වැනි දෙයකට ඇදගෙන දමාගෙන ගියා විය හැකිය. ඉන්පසු ටිකෙන් ටික මරා, මීගමු කලපුව වැනි-හොයන්නට බැරි තැනෙක ගිල්වා දැමුවා විය හැකිය. ඔවුන්ට නමක් නැත. නමක් නැති මිනිසුන්ගේ නම්,ළබැඳියන්ගේ හදවත් තුළ මිස අන් තැනෙක ලෙහෙසියෙන් ලියැවෙන්නේ නැත.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS