කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් අක්කර හයක භූමිය ඊට යාබද ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගැනීමත් සමඟ රටවල් කිහිපයක ...
කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් අක්කර හයක භූමිය ඊට යාබද ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගැනීමත් සමඟ රටවල් කිහිපයක බුද්ධි අංශ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇතැයි දැනගන්නට තිබේ.
ඊට හේතු වී ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු රටවල් සිය බුද්ධි සේවා පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මෙම භූමිය යොදා ගැනීමයි.
අදාළ භූමියේ ඇමරිකාව සිය අධිතාක්ෂණික රේඩාර් පද්ධතියක් ඇතුළු සන්නිවේදන උපකරණ සවි කිරීමට සැලසුම් කර ඇතැයි ද එසේ වුවහොත් එමඟින් ආසියානු කලාපයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ආසියානු කලාපයේ රටවල් කිහිපයක බුද්ධි සේවා සැලකිල්ලට ගෙන තිබේ.
කොළඹ වරාය, ගාලු මුවදොර හා කොළඹ කොටුව ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ නගර මධ්‍යයේ ඇමරිකාව කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධව ඉන්දියාව හා චීනය ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ. ඇමරිකාවේ කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා රේඩාර් පද්ධතියක් සවි කළහොත් චීනය සහ ඉන්දියාව ද ඒ සඳහා රේඩාර් පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඇමරිකාව කොල්ලුපිටියෙන් මිලදීගත් භූමියට දැඩි රැකවල් යොදා ඇති අතර එහි තිබූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ගොඩනැඟිලි සියල්ල ඉවත් කර නව ඉදිකිරීම් සඳහා භූමිය සකස් කර ඇත.
ඇමරිකාවේ මෙම ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල දැඩි කැලඹීමකට පත්ව තිබේ. කලාපීය මෙහෙයුම් මධ්‍යස්ථානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉදිරියේ දී දැඩි තර්ජන එල්ල විය හැකි බව විදෙස් බුද්ධි සේවා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පෙන්වා දී ඇති බව ද වාර්තා වේ. කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ඉඩම ඇමරිකාවට ඍජු ලෙස මිලදී ගැනීමේ හැකියාවක් තිබේදැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමක දී ලේකම්වරයා කීවේ තමන් දන්නා තරමින් ඊට බාධාවක් නැති බවයි. තානාපති කාර්යාලයකට අයත් භූමියේ අයිතිය ඇත්තේ එම රටට බව ද ඒ මහතා කීවේය.
ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අයත්ව තිබූ ඉඩමේ කලාපීය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඇමරිකාව කටයුතු කරනවාද යන්න අප ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ඔහු කීවේ එහි කෙරෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.
-දයා නෙත්තසිංහ (සත්හඬ)
COMMENTS